වරාය
අපේ රට වටේට ම මහා සාගරය. මහා සාගරයක් කියන්නෙ ලුණු රසැති වතුර පිරුණු එකක් ම නෙමෙයි. සම්පත් පිරුණු එකක්. මත්ස්‍ය සම්පත කියන්නේ මහ සයුර තුළ ඇති එවැනි එක් සම්පතක් පමණයි.
අපේ රට පාලනය කරපු රජවරුන් මහා වැව් හදපු එක ඇත්ත. මහසෙන් රජතුමා මින්නේරි දෙවියො වුණේ වැව් හදාපු නිසා. ඒ වටේට ම තිබෙන මහා සාගරය ගැන නිසි අවධානයක් යොමු කළා ද කියන එක ප්‍රශ්නයක්… කෘෂි කර්මාන්තයක් ගැන අවධානය යොමු කළා මිසක ධීවර කර්මාන්තයක් ගැන සිතපු පාටක් නම් නැතුවා වාගෙයි.
කෙසේ වුව ද පෘතුගීසීන් අපේ රටට පැමිණීමත් සමඟම මහා සාගරය දෙස අලුතින් බලන්නට අපේ පැරැන්නන්ට සිදු වුණා. ඒ පෘතුගීසීන් පැමිණි නැව් නිසා. කොළඹ වරායක් ගැන කතා බහ පටන් අරගෙන තියෙන්නෙ ඊට පස්සෙ.
විවිධ වකවානුවල සොළීන් අපේ රට ආක්‍රමණය කළ බව ඇත්ත. හත් සියයක් සෙනඟ රැගෙන විජය කුමාරයා තම්මැන්නාවෙන් ශ්‍රී ලංකා භූමියට ගොඩ බට බවත් ඇත්ත. ඒත් නැව් මගින් මිනිසුන් ප්‍රවාහනය කිරීම හෝ බඩු භාණ්ඩ ප්‍රවාහනය කිරීම පිළිබඳ පැහැදිලි සටහන් ලියැවෙන්නේ පෘතුගීසීන්ගේ පැමිණීමත් එක්ක.
මෑතක් වනතුරු ම වාණිජ වරායක් හැටියට පිළිගෙන තිබුණේ කොළඹ වරාය විතරයි. කොළඹ නගරය දියුණු වුණේ මේ වරායත් එක්ක.
ගාලු වරාය තිබුණා තමයි. ඒත් ඒක වුණත් වැඩි දියුණු කරගෙන අන්තර්ජාතික මට්ටමට ගෙන එන්නට කාටත් වුවමනා තිබුණු බවක් පෙනෙන්නට නැහැ.
ත්‍රිකුණාමලය වරාය හරිම ලස්සන එකක්. ඒකත් තිබුණු හැටියටම තිබුණා.
මේ අතර ශ්‍රී ලංකා ගොඩබිම පෙනි පෙනී නැව් සිය දහස් ගාණක් වෙනත් රටවලට ගියා. අවුරුදු සිය ගාණක් තිස්සේ. කොළඹ වරායට විතරක් නැව් කිහිපයක් ආවා. සමහර විට ඉන්ධන ලබාගන්ඩ… නැත්නම් ජලය ලබාගන්ඩ… ඒ නැව් වලට ඉන්ධන සහ ජලය සැපයීමෙන් විශාල ආදායමක් ලබාගත්තා.
ඒත් ගාලු වරාය පෙනි පෙනී නැව් ඈතට යන්ඩ ගියා… හම්බන්තොට වරායක් ගැන විටින් විට කතා බහට ලක්වුණා. ඒත් ඒක විටින් විට පෙනී නොපෙනී ගිය සිහිනයක් විතරක් වුණා. කොළඹ වරායත් වර්තමාන තත්ත්වය යටතේ හුණ්ඩුවක් වගේ වුණා. නැව් විශාල ගණනක් වරායෙන් පිටත නවතා තබන්නට සිදු වුණා. ඒ නිසා ප්‍රමාද ගාස්තු ගෙවන්ඩත් අපට සිදු වුණා. ගාලු වරායෙන් නිසි ප්‍රයෝජනය ලැබීම ගැනත් ඉඳහිට කතා කළා විතරයි.
දෑස් හැර බලන්න දැන්… හම්බන්තොට අන්තර්ජාතික මට්ටමේ වරායක් ඉදිවෙනවා. කොළඹ වරාය මුහුද පැත්තට විශාල වෙනවා. ගාලු වරාය නවීකරණය වෙමින් විශාල වෙනවා…
මින් පෙර හම්බන්තොට දෙස බලමින් මුහුදේ ඈතට ගමන් ගත් නැව් තව ටික දවසකින් ශ්‍රී ලංකාව පැත්තට ඒවි. හම්බන්තොට වරායට ඇතුළු වේවි. මුළු දකුණු පළාතම සිතා ගන්නටවත් බැරි තරම් වේගයකින් දියුණු වෙන්නට පටන් ගනීවි.
ඒ කාලයේ ඉස්කෝල ළමයි ශ්‍රී ලංකාවේ සිතියමක් ඇඳලා හම්බන්තොටත් මන්නාරමත් ඇතුළත් ප්‍රදේශ ලකුණු කෙළේ ශ්‍රී ලංකාවේ ශුෂ්ක ප්‍රදේශ හැටියට.
හම්බන්තොට පැත්තට රජයේ සේවයට යන්නට රාජ්‍ය නිලධාරීන් අකමැති වුණා… දුෂ්කර පළාත් නිසා. ඉඩම් කෑල්ලක් විකුණනවා කියන එක සිහිනයක්.
ඒත් දෑස් හැර බලන්න… ඒ දුෂ්කර පළාත් අලුතින් හැදෙනවා… ඉඩම් දැනටමත් ගිනි ගණන් ගිහින්. මිනිසුන්ගේ සිහින යථාර්ථයක් බවට පත්වෙනවා. තව ටික දවසකින් පිටරට නැව් වලට වතුර විකුණලා ම විශාල ආදායමක් ගන්ඩ පුළුවන් වේවි…
මිනිසුනි, දෑස් හැර අවට බලන්න… අපේ දේශය අලුතින් ඉදිවෙනවා…!
කොළඹ දකුණ වරාය සංවර්ධන ව්‍යාපෘතිය
පළමු අදියර ආයෝජන වියදම ඩොලර් මිලියන 420
ඉදිකිරීම් කොන්ත්‍රාත්කරු කොරියාවේ හයුන්දායි සමාගම
මුදල් ප්‍රතිපාදන ආසියානු සංවර්ධන බැංකුව සියයට 81ක් වරාය අධිකාරිය සියයට 19ක් මූලික ඉදිකිරීම් කටයුතු ප්‍රධාන පිවිසුම් ඇළ මාර්‍ගය කැණීම තෙල් මාර්ග සකස් කිරීම නාවික කටයුතු විධිමත් කිරීම
නිම කිරීමට අපේක්‍ෂිත කාලය 2012 අපේ‍්‍රල්
කොළඹ වරාය පුළුල් කර වැඩිවන තදබදයට විසඳුමක් සැපයීම හා නවීන නැව්වලට අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම අපේක්‍ෂිතය.
ගාලු වරාය සංවර්ධන ව්‍යාපෘතිය
පළමු අදියර සඳහා ඇස්තමේන්තු මුළු මුදල රුපියල් මිලියන 125
දෙවැනි අදියර සඳහා ඇස්තමේන්තු මුළු මුදල රුපියල් මිලියන 3175
මූලික ප්‍රතිපාදන ජයිකා ණය ආධාර සහ රජයෙන්
පළමු අදියරේ මූලික ඉදිකිරීම් කටයුතු සංචාරක රුවල් ඔරු (යොච් යාත්‍රා) 30 ක් නැවැත්වීමේ පහසුකම් ඇති කිරීම
තීරු බදු රහිත කඩ සාප්පු සංකීර්ණ
අන්තර්ජාල පහසුකම් ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය
දෙවන අදියරේ මූලික ඉදිකිරීම් කටයුතු තවත් සංචාරක රුවල් ඔරු 30 ක් නැවැත්වීමේ පහසුකම් ඇති කිරීම.
රුවල් ඔරු එසවුම් පහසුකම් ඇති කිරීම
වියළි තටාංග පහසුකම් හා
වාහන නැවතුම් පහසුකම් ඇති කිරීම
ස්වභාවික පරිසරය ආරක්‍ෂා වන ආකාරයෙන් ලොව නවීනතම සංචාරක වරායක් ලෙස දියුණු කිරීම
ඔලුවිල් වරාය සංවර්ධන ව්‍යාපෘතිය
ඇස්තමේන්තු මුළු මුදල යුරෝ මිලියන 46.1
මුදල් ප්‍රතිපාදන ඩෙන්මාර්ක් රජයෙන්
ව්‍යාපෘතියේ කාල සීමාව මාස 27
යෝජිත ඉදිකිරීම් සැලැස්ම වාණිජ වරායක් හා ධීවර යාත්‍රා සඳහා ජල ද්‍රෝණියක් සැකසීම.
පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු මීටර් 475 හා මීටර් 740 ක දියකඩන ඉදිකිරීම
හෙක්ටයාර් 16 ක ජල තටාකයන් ඉදිකිරීම
ටොන් 5000 ක් බර නෞකා හසුරු වන පරිදි මීටර් 8 ක ගැඹුරු ජල තටාකයක් සෑදීම
දෙවැනි අදියරේ ඉදිකිරීම් කටයුතු ටොන් 16 000 ක බරින් යුත් නෞකා හැසිරවිය හැකි පරිදි ජලතටාකය මීටර් 11ක් ගැඹුරු කිරීම.
වෙරළාසන්න මගී ප්‍රවාහන පහසුකම් ඇතුළත්ව අනාගතයේ මහා පරිමාණයේ වරායක් ඉදිකිරීම සඳහා අවකාශ සැලසෙන සේ ඉහත කාර්යයන් ව්‍යාප්ත කිරීම.
හම්බන්තොට වරාය ඉදිකිරීමේ ව්‍යාපෘතිය
ඇස්තමේන්තු මුළු මුදල ඩොලර් මිලියන 360
මුදල් ප්‍රතිපාදන චීනයේ එක්සීම් බැංකුවෙන් සියයට 85 ක් ණය ආධාර ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් සියයට 15 ක්
නිම කිරීමට අපේක්‍ෂිත කාලය 2011 අපේ‍්‍රල්
මූලික ඉදිකිරීමේ කටයුතු නැව් 3 ක් හැසිරවීමේ පහසුකම්
මීටර් 600 ක නැව් බඩු පර්යන්තය
මීටර් 310 ක තෙල් පර්යන්තය
වර්ග අඩි 75 000 ක පරිපාලන ගොඩනැගිල්ල
මීටර් 988 ක් හා මීටර් 312 ක් දිග දියකඩන
ටැංකි 14 ක තෙල් ගබඩා සංකීර්ණය.
අංග සම්පූර්ණ වරායක් බවට පත්කිරීම හා එය නවීනතම පහසුකම්වලින් යුත් නැව් සඳහා සේවා සපයන කාර්මික වරායක් බවට පත් කිරීම.
Advertisement









